Tuesday, May 30, 2017

දෙවියන් අප අතරමයි ! - මට හමුවුණු මිනිසුන් 2 කොටස

මිනිසුන් මිනිසත්කම   
ඡ‍ායාරෑපය ගූගල් වෙතින්. හිමිකම් ඡ‍ායාරෑප ශිල්පියා සතුයි.
මම අද කියන්න යන්නේ කතා දෙකක්. අපි අතරේම ඉන්න මිනිසුන් කොට්ටාශයක් පිළිබඳව.
මිනිස්සු ඔවුන්ව විවිධ නම් වලින් හඳුන්වනව. බොහෝ මිනිස්සු ඔවුන්ව හඳුන්වන්නේ රණ විරුවන් කියල. එහෙම උනත් මේ හැඳින්වීමෙන් අපගමනය වෙච්ච  සමාජයේ මධ්‍යමපාන්තික උගත් කියල සම්මත (ගොඩක් දුරට මම දැකපු විදියට) සමහරක් මිනිස්සු මොවුන්ව හඳුන්වනව "ආමි කාරයා" වගේ නමකිනුත්; අර ග්‍රාමාරක්ෂක මහත්වරුන්ට ගම්බට්ටන් කියල කියනව වගේ. මේ දවස් වල ෆේස්බුක් එකේ යන "අට පාස්" කියල දාන ජරා පෝස්ට් ගැන නං මම කතා කරන්න යන්නේ නෑ. ඒතරම්ම කලකිරීමක් තියෙන්නෙ ඒ ගැන.

මේ කියන්න යන කතා තුන මගෙ ජිවිතේ සිද්ද වුනු සිද්දි කීපයක් ගැන කියවෙන ඒව. අද රටේ ඇතිවෙලා තියෙන මේ ව්‍යවසනය අතරෙ මේ බ්ලොග් පෝස්ට් එක  කියවන මිනිස්සුන්ට, ඒ මිනිස්සුන්ගේ හිතට, හමුදාවේ මහත්වරුන් (ඔව් ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන්) කරන මේ කැපවීම හැබැවටම තවත් තදින් දැනෙනවා නම් මගේ අරමුණ සාර්ථකයි කියල කියන්න පුළුවන්.


හිත රිදෙන සිදුවීමක් 

මම හිතන්නේ ඒ 2014 අවුරුද්දෙදි වෙන්න ඕනෙ. මම වෙනද වගේම මගෙ ගම් පළාතේ ඉඳන් කොටුව දක්වා යන බස් එකට ගොඩවුනා. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට  ඉඳ ගන්නේ බස් එකේ පිටිපස්සෙම සීට් පේළිවල. ඒත් එදා දවසේ මට ඉඳගන්න ලැබුනේ බස්සෙකේ මැදට වෙන්න පිහිටලා තිබුන සීට් එකක.

ඔන්න ඉතිං බස් එක ගමනාරම්භ කරලා පැය බාගෙයක් විතර ගතවුණා. බස් එකේ ටිකෙන් ටික සෙනග පිරිලා, බස් එක සෙනගගෙන් පැක් වෙන්න උනා. හැල්මේ යන බස් එක ටිකෙන් ටික ගොඩගම හන්දිය, කාර්මික විද්‍යාලය, ලක්ෂපාන බැටරි කොම්පැනිය පහු කරලා පනාගොඩ කෑම්පෙක හරියට සේන්දු වුණා. කෑම්පෙකේ වංගුවත්  අරං මහ හයියෙන් බ්‍රේක් පාරකුත් ගහගෙන, බස් එක නතර උනා කෑම්පෙකේ පන්සල ගාව බස් හෝල්ට් එකේ. නවත්තපු ඇසිල්ලෙන්, අව්වට මූණු කළු වුනු, කෙට්ටු ඒත් බොහොම සවිමත් කියල පෙනුණු සිරුරු තිබුණු, ලොකු ට්‍රැවලින් බෑග් කීපයක් අතින් එල්ලාගත් හමුදාවේ මහත්වරු කීපදෙනෙක් නවත්තපු  බස් එකට නැග්ගා එයාලගේ ගම් රටවල් බලා යන්න.

බස් එකේ කොන්දොස්තර මහත්තයගේ කටේ තිබුණු එකම වචන සෙට් එක ආයෙමත් ඇහෙන්න ගත්තා.

"ඔය මැද පේළිය ඉස්සරහට යන්න... මෙතන දොර ගාව ඉන්නැතුව..."

බස් එක ආයෙමත් හැල්මේ දුවන්න ගත්ත. ඔහොම පැය බාගෙයක් විතර යන්න ඇති. මමත් මගේම කියල කල්පනා ලෝකෙක තනිවෙන්න උනා. ඒත් එක පාරටම මං ගාව හිටිපු කෙනෙක් "..මල්ලී" කියල මගෙ පිටට තට්ටුවක් දැම්ම.

අඳුරන කෙනෙක් කියන අපේක්ෂාවෙන් මම හැරිලා බලන්න ඇති. බලද්දී මට කතා කරලා තියෙන්නේ අර හමුදාවේ මහත්මයෙක්..

"..මල්ලියෙ  අනේ උදව්වක් කරනවද..  මගෙ මේ බොරු කකුලක් දාපු කකුල හිටගෙන ඉන්න බැරි ගානට රිදෙනවා.. මට ඉඳගන්න පොඩි උදව්වක් දෙනවද..."
"..මල්ලියේ පැනඩෝල් නැද්ද.. අනේ මල්ලිට කරදරයක් ද මන්දා.."

 මම බෑක් එකේ පැනඩෝල් හොයන අතරෙ ඒ මහත්මයා කියන්ට වුණා. ඒත් එක්කම ඒ අහපු වචන ටික නිසා  මගෙ හිතට ආවෙ දරාගන්න බැරි වේදනාවක්..

"..මල්ලි.. බ්ලාස්ට් එහෙකට අහුවෙලා  දනිස්ස ගාවිම්ම වෙන්වුණා. දැන් හොඳ උනාට ඉස්නායු වල අවුලක් තියෙනව. ඒකයි මේ වේදනාව... මම හොරොව්පතානෙ ගමේ යන ගමන් මල්ලි..." 

ටික දුරක් යද්දි වේදනාව අඩු වෙලාද කොහේදෝ ඒ මහත්මයා හිටගෙන උන්නු මාත් එක්ක කියන්න උනා. 


ඉතිං මට බහින්නත් වෙලාව ලං උනා. ජිවිතේ එක පාරක් විතරක් හම්බෙන ඒ මහත්මයාට ආයුබෝවන් කියල මම මහරගමින් බස්සෙකෙන් බැස්සා. මගෙ හිතේ එදා ඇති වෙච්ච ඒ හිස් හැඟීම හැමදාකම කෑම්ප් එකේ පන්සල ගාව හෝල්ට් එක පහුවෙද්දී අදත් ඒ විදිහටම දැනෙනව. අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු ඒ මහත්මයාගෙ මුහුණේ ඒ වෙලාවේ තිබුණු වේදනාව මට තවමත් මැවිල පේනව.



කුඩිම්බිගල හාමුදුරුවො ගිලන් වෙලා 

මේ දෙවෙනි කතාවෙ ඇරඹුම මම හිතන්නේ 2010 අවුරුද්දේ වෙන්ට ඕනේ. මගෙ යාලුවෝ වගෙයක් අපේ අපේ පවුල් වල උදවිය හා හා පුරා කියල ගියා අම්පාර පැත්තට පොඩි විනෝද ගමනක්. මම මතක විදිහට මේක දවස් හතරක් විතර දිග විනෝද ගමනක්. ඔහොම ගිය ගමනේ එක නැවතුම්පොළක් උනේ කුඩිම්බිගල තපෝවනය. මේ කුඩිම්බිගල කියන්නෙ කුමන ජාතික වනෝද්‍යානය ඇතුලත තියෙන බොහොම පැරණි ආරාම සංකීර්ණයක්. මේ ආරාම සංකීර්ණයේ දැනට භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරන්නෙ බොහොම උස කුඩුම්බිගල කන්දේ මුදුනේ හදාගත්ත බොහොම අපූරු ආරාමයක. අපි මේ ගිය දවසේ කුඩුම්බිගල හාමුදුරුවො ගිලන්වෙලා රෝහලට අරං යන්න සිද්ද උනා. ඉතිං මේ ඉන්න පරිසරෙත් එක්ක මේ හාමුදුරුවන්ව කන්දෙන් පහලට ගෙනියන්න තිබුණු එකම ක්‍රමය උනේ මේ වගේ පුටුවක තියල බොහොම ප්‍රවේසමෙන් පහලට අරං යන එක. ඉතිං මේ කාර්‍යයට වෙහෙස නොබලා කඳු පාමුල ඉඳන් ආවේ මේ රූපේ ඉන්න හමුදාවේ මහත්වරු ටික. මට මේ පින්තූරේ එක පාරටම මතකෙට ආපු නිසා දැම්ම.... 

2 comments:

  1. අපේ අතින් සිදුවන වැරදි තමයි. මටත් ඔහොම එකක් උනා කොලබ ඉදලා නුවර යන කොට. වරකාපොලදී බස් එකට නගපු මා ලග හිටගෙන හිටපු මහත්තය ආබාධිත කෙනෙක් කියල දැන ගත්තේ ටිකක් වෙලා ගියාම, ඒ වෙලාවෙම මම නැගිටලා ආසනය දුන්න .

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව WMK , දිග කලිසම ඇන්දාම වෙනසක් හොයාගන්න අමාරුයි ...

      Delete