Sunday, December 18, 2016

විමලෙයි පෙරියපුල්ලෙයි මුහුදයි

1 විමලේ සහ පෙරියපුල්ලේ


“ කෝම අරි ඉන්දියන් බෝඩරේ පයින්න ඕනෙ විමලෙ අයිය”


පෙරියපුල්ලේ නොසැලකිල්ලෙන් මෙන් දැල විසිකරමින් විමලේට පවසන්නට විය. ජලතලයේ වැදී ඔහුගේ වචන ඔහේ පාවී යන්නට විය . ඈත අහසේ කොනක ඉර බැසයමින් තිබූ අතර විමලෙ අයියා  අනන්තය දෙස නෙත් යොමා, දැල්වෙමින් තිබූ බීඩියෙන් දුම් ගුලියක් පිටකළේය.


“ඔව් බං, මේ වතුරත් වෙඩිබේත් ගඳද මන්ද. අනික බලපන් මාලු, උං හේ බාල ගිහිං , මස් කලඳක් නෑ!”  හෙතෙම දැල අඳිමින් පැවසීය.


ඈත අහසේ ලිහිණියෙකු ජලයට පහත් වී ක්ෂණිව මාලුවෙක් ඩැහැගත්තේය. ඉක්මනින් පියාපත් ගසා අහසේ ඉහල නැගි ඌ දෙස පෙරියපුල්ලේ බලාපොරොත්තු දෑසෙන් බලා සිටින්නට විය.


“වෙලාවට අයිය අපි පවුල් වලා උන්නෙ නැත්තෙ. බලාං නැත්නං අපිත් ඉතිං අර වැයි ලීනිය  වයෙ නෙ ඉතිං. බලාං ඌ උගෙ පවුල නඩත්තු කරන්න කන මාන්සිය. ඇබැයි ඉතින් ආං උඹ ට පාල වත්තෙ සුමනසේකරං ගෙ කෙල්ල නං මනාපයි වයේ. මං දැන් කීප සැරෙම දැක්ක ඒකි බලාන ඉන්නව..  ” පෙරියපුල්ලේ සිනාසෙමින් පැවසීය.


“මට මොන ගෑණුද බං ! දැං බලපං, අපි මේ ගෙනියන මාළු කූරි ටික උයන් හරි බැඳං හරි බත් පොඩ්ඩක් එක්ක කාල, එදා වේල ගැටගහගන්නව. දැන් නිකං හිතපංකො පවුල් උනොත්. කෝමද බං ගෑණිගෙයි දරුමල්ලොන්ගෙයි මූණ බලං මේ සොච්චමක් කන්න දෙන්නෙ.” බන්ඩි දැල ගස්සා අදිමින්, විමලෙ අයියා දොඩමළු වන්නට විය.


“ගෑණු මෝඩයි විමලෙ අයිය. උං සෙනේට යටවෙලා ඉඳී. අපි එපෑ කෑම හොයන්න. මට මේ දැල් රස්සාව ඇතිවෙලා බං” විරිතමින්, බුලත් විටින් කහට ගැසූ දත් දෙපළ පෙන්නා සිනාසෙමින් පෙරියපුල්ලේ පැවසීය.
                                                        ***********
විමලේ සහ පෙරියපුල්ලේ කළපුවේ ඈත ඉවුරේ ඇටවූ පොලඅතු පැලක, එකල තම තාවකාලික ජීවනෝපාය වූද දැන් තම ස්ථිර ජීවනෝපාය වන්නාවූද  මාළු ඇල්ලීම සිදුකළහ. එක් කාලයක සමූපකාර සේවකයෙක් වූ පෙරියපුල්ලේගේ ත් කච්චේරියේ ලිපිකරුවෙකු ලෙස සේවය කල විමලේගේ ත් ජීවිතය කලක් යනතුරු නිදහසේ ගලාගෙන ගිය නමුත්, උතුරුකරයේ යුද්ධය ආරම්භයත් සමඟ ඒ සියල්ල උඩුයටිකුරු වන්නට විය...


...වාඩියේ අටවා තිබූ ලිපක් මත අපූරු සුවඳක් විහිදුවමින් කලපුවෙන් අල්වාගත් මාළු බැදෙමින් තිබූ අතර පසෙකින් වූයේ දුම් දමමින් ඉදෙන පරිප්පු ව්‍යාන්ජනයකි. වාඩිය ඉදිරියේ වූයේ බුරබුරා දැල්වෙමින් තිබූ ගිණිමැලයකි.


“අම්මේ බං පෙරිය මලයො ගිණි මැලේ ලඟ තියෙන සනීපෙ බං. හීතල කළපු හුලඟට කියාපු බේත” විමලෙ අයියා දොඩමළු වන්නට විය.


“ආ.. කාපං! , දුම් දමන බත් පිඟානක් විමලෙ අයියා මත තබමින් පෙරියපුල්ලේ පැවසීය.
ඈත අහසේ පුන්චි එළි විහිදුවමින් කණමැදිරියන් පියාඹමින් සිටි අතර පෙරියපුල්ලේ තළුමරමින් තම බත්පත ගිලදමන්නට විය.

“ තළු ගහන්න එපා අයිසෙ.. උඹ නං ඔය පුරුදු අතෑරගන්නෙම නැති පාටයි.” විමලෙ අයියා සිය සුපුරුදු ආරෝව දැමීය.


“පිඟාන මයෙනං කටත් මයෙනං උඹට මොකෝ. අනේ නිඅං කට පියං ඉඳිං අයියා” විරිත්තමින් පෙරියපුල්ලේ පවසන්නට විය.


ඈත අහස අනන්තය තෙක් තරු ගොන්නකින් ප්‍රභාමත් ව තිබූ අතර ඈතින් බිම් බස්සෙක් හඬන්නට විය. ඌගේ මූසල නාදයත් බුරබුරා නැගෙන ගිනිමැලයෙන් නිකුත් වූ කර සුවඳත් අපූරු අපූරු සුන්දරත්වයක් මැවීය.


“ උඹ ල අපි කිසි වැඩකට නැති මිනිස්සු වෙලා බං. දැං බලහං ,ඉස්සර මං පුට් බයිසිකොලෙන් ටවුමට යනව රස්සාවට. අම්මට තාත්තට කන්න අඳින්න දෙනව. සතියට වේලක් හොඳ මස් කෑල්ලක් කනව.
ඒත් දැං බලහං, වැරහැලි ඇඳං, පිලීගඳ ගහන මාළු අල්ලනව. ඉන්න හිටින්න හරිහමන් තැනක් නෑ. අනේ මන්ද බං , අර මොලෝ රහක් නැතිව ඉගිල්ලෙන කණමැදිරියො වගේ බං අපිත්. ඉන්නං වාලෙ ඉන්නව , ජීවත් වෙන්නං වාලෙ ජීවත් වෙනව. දන්නැති  දවසක ඔහේ මැරිල යනව!”