Showing posts with label කෙටිකථා. Show all posts
Showing posts with label කෙටිකථා. Show all posts

Wednesday, May 3, 2017

නාට්ටාමී 3 කොටස - මෝචරියේ ජෝගිය


"ආ මහත්තයො...!"
සිරිපාල තම බුලත් කහට රැඳුනු දත් දෙපල පෙන්වා සිනාසෙයි.
"අඩේ නඩේෂන් දීපං මේ මහත්තයට බංකුවක්.." සිරිපාල අසල එළවලු ලෑල්ලේ අයිතිකරු වූ නඩේෂන් ට පවසයි.

 කුඩා මිටි බංකුවක් පසෙකින් තබන නඩේෂන්, විදුරු කෝප්පයකට ප්ලේන්ටි ස්වල්පයක් දමා මාහට පිරිනමයි.

"ඉඳන් බොන්ඩ ෂර්,,,"
නඩේෂන් වූ කලී කාලවර්ණ සිරුරකට හිමිකම් කියූ මිටි මිනිසෙකි. තොග එළවලු ලෑල්ලක් කරන ඔහු අතීතයේ පටන්ම සිරිපාලගේ ගජ මිතුරෙකි. ඉක්මනින් කිපෙනසුළු කුකුල් කේන්ති කාරයෙක් වූ නඩේෂන් ආරෝවක් ඇතිකර නොගත්තේ සිරිපාල හා ඔහුගේ බිරිඳ කුමීඅම්මා සමඟ පමණකි.

. මැස්සන්ගෙන් පිරී තිබුණු එලෝලු මාකට්ටුව තුල එලෝලු වලින් නික්මුණු සුවඳක් හා කුණු වූ එලෝලු වලින් නික්මෙන සුවඳත් මිශ්‍ර වු සුවඳක් අවට විහිදුවයි. නඩේෂන් දුන් ප්ලේන්ටි වීදුරුවේ ගැට්ට මතට මැස්සන් රොත්තක් එක්වීමට ගතවුයේ නිමේෂයකි.

"උඹට මතකද නඩේෂන් ටවුමේ මෝචරියේ කලින් හිටපු එම්බාම් කරන එකා පියදාසව.?" ඒ පැනය පියදාසගෙනි.

"අම්මාහ් ඔව් ඔව් මතක නැද්ද යකෝ ඌව... අර විජේපාල ගෙ කෙල්ල පැනල ගියේ ඕකත් එක්කනෙ... දැන් ඔය ඔරුගොඩවත්ත පැත්තෙ ඉන්නවැයි කියන්නෙ.."

"අන්න හරි ඔය ඉන්නෙ මිනිහ... උඹට මතකද නඩේෂන් අනුව අවුරුද්දෙ මෝචරියේ  තිබ්බ ජෝගිය....?"

"අම්මද බෝල ශිරිපාලයියා.. අර ජෝගිය ... "

"ඒක නං මරු කතාව බං මේ මාත්තයට..  උඹ කියපං ශිරිපාල මං වැරද්දක් තිබ්බොත් හදන්නං..."

                                                                   ****

"මහත්තයො ඔය කතාව උනේ අනූවෙ අවුරුද්දෙ, අප්‍රේල් අවුරුදු කාලෙ, අවුරුදු කාල දවස් තුන හතරක්  යන්නැති..."
"ඔන්න ඉතිං සුපුරුදු විදියට මහත්තයො අපි අවුරුද්දට බීල හෙම වැඩ අල්ලන්න ලෑස්ති උනා. ඉතිං ඔය ඔහොම ඉඳිද්දී තමයි මහත්තයො අපිට අලුත් පාටියක් ගැන ආරංචියක් ආවේ.
මහත්තයො ඔය මේ ටවුමෙ මිනිස්සු මළාම උන්ට මලගමක් හරියට කරගන්න අතේ සතේ නෑ. ඉතිං ඔය හින්ද අපේ ගමේම විජේපාල කියල එකෙක් මල්සාලාවක් පටන් ගත්ත මාලිනි මල්සාලාව කියල. මාලිනි කියන්නෙ ඔය විජේපාලගේ දුව. ඉතිං මහත්තයො ඔය මාලිනි මල්සාලාව බජට් මල්සාලාවක්. පෙට්ටිය ලාබ එලේ අහුවෙච්ච බාල ලෑලි වලිං හදන්නෙ. මල් වඩම්, වාහනේ, තව එම්බාම් කරපු මිනිය පවා බජට් එකට සෙට් වෙන  බාල බඩුවක්. ඉතිං මොන දේ මොන විදියට තිබ්බත් එම්බාම් සාප්පුව අපේ ගමට ලොකු සේවයක් කලේ, මොකද හරිහමං දෙයක් නැති අපිට ගානට මළගෙදර වැඩ ටික හැඩල් කරගන්න පුළුවන් උනේ විජේපාලය හින්ද.

ඉතිං විජේපාලය ඔය සාප්පුවේ වැඩ බලාගෙන ඕඩර් වැඩ කරද්දි පියදාස තමා ඕකේ මිනී එම්බාම් කලේ. ඔන්න වැඩ තියෙන දවසට පියදාසය කාලක් හෙම ගහල ඔපරේසන් එකට බහිනව. ඒ අතරෙ විජේපාලය උගෙ දුවත් එක්ක මල් වඩම් ටික හදනව.

ඉතිං ඔන්න ඔහොම ඉඳිද්දී අපේ විජේපාලයගේ ඔලුවට අදහසක් ඇහිල්ල, අවුරුදු පහුවෙලා එම්බාම් සාප්පුවේ බජව්වක් දාන්න ඕනේ කියල. ඉතිං ඔන්න අපිටත් මහත්තයො විජේපාලය කතා කළා වරෙන් කියල.  ඉතිං මායි මේ නඩේසනුයි රෑ අට හමාරට විතර තව කොල්ලො හතර පස් දෙනෙක් එක්ක ගියා එම්බාම් සාප්පුවට.

ඔන්න ඉතිං සාස්තිරිය සිංදුවලින් එහෙම බජව්ව පටන් ගත්ත. විජේපාලය ළඟ බාගෙට හදල තිබ්බ මිනී පෙට්ටියකට තට්ටු කරකර සින්දු කියනව. පියදාසයත්  කෑන් කෑල්ලකට තට්ටු දානව. අපි ටික ඉතිං හති දමාගෙන නටනව...
ඔන්න ඉතිං පැය බාගෙයක් විතර ඔහොම නටල ඉවර උනාම   විජේපාලගේ දුව ආයෙමත්   බීම ටිකක් ලැස්ති කරල බැදපු ඌරු මස් කෑලි පිඟානක් එහෙම ලඟින් තියල යන්න ගියා. මාත් ඉතිං ලාවට වෙරි පිට ගත්ත වීදුරුවක් පුරෝලා අතට. ඔන්න අරං බොනව බොනව පෙවෙන්නේ නෑ. පියදාසයත් ඌරු මස් කෑල්ලක් අරං කන්න හදනව කැවෙන්නෑ. නිකං අතට අහු උනාට මොකුක් නෑ වගේ. ඔන්න එතකොට තමයි මගෙ ඔලුවට එක එක පාරටම විදිල්ලක් කොටනව වගේ දෙයක් ඔලුවට ආවේ.

"යකෝ විජේපාලයගේ කෙල්ල ඇඳලා හිටියෙ ළමා සාරියක්.! "

මහත්තයො ඔය වෙද්දී මටයි අනිත් හිටපු උන්ටයි මේ වෙච්චි දේට හීන් දාඩිය දාල තිබ්බෙ. අනික බාගෙට වෙරි.
මහත්තයො ඇඟට ආපු බයට මම නතර උනේ පහල පාරෙ කඩේ ගාවින් සරම පැටලිලා වැටිල. විජේපාලයයි පියදාසයයි නඩේසනුයි හොයාගන්නවත් නෑ. පහල කඩේ සයිමන්  මුදලාලි තමයි හනිකට ඇහිල්ල, බැන බැන මාව වත්තං කරන් කඩේට ගෙනිහින් ටොනික් බෝතලයක් කඩල බොන්න  දුන්නෙ.

ඉතිං මහත්තයො පහුවදා ගමේ කට්ටඩියට කියල සෙත් සාන්තියක් කරලා එහෙම තමයි මායි අනිත් උන් ටිකයි ගොඩ ආවේ. අපි තාම  දන්නෙ නෑ එදා මොකක් උනාද කියල.

එදායින් පස්සෙ මාසයක් විතර එම්බාම් සාප්පුව වහල තිබ්බ. පස්සෙ අවුරුදු තුන හතරකින් විජේපාලගේ කෙල්ල එම්බාම් කරපු පියදාසය එක්ක පැනල ගියා. විජේපාලයම පස්සෙ උන් දෙන්නට කැමැත්ත දීල ලඟට අරං ආයේ කාලයක් බිස්නස් කරගෙන ඉඳල මැරිල ගියා.
 දැන් ඔන්න උන් දෙන්න ළමයි බමයි ඉන්න මිනිස්සු. ඔරුගොඩවත්ත පැත්තෙ ජීවත් වෙනව෴



චිත්‍රෙ බලං ඩිජිටල් මාධ්‍යයෙන්  ඇඳපු එකක්

Friday, January 13, 2017

නාට්ටාමී 1 කොටස - ඇරඹුම

නාට්ටාමි 1 කොටස - ඇරඹුම

“මගෙ නම මහත්තයො සිරිපාල. හැදුනෙ වැඩුනෙ බොරැල්ලෙ කඩකෑලි යට”
ඒ සිරිපාලගේ කටහඬයි. දැන් තලතුනා වියෙහි පසුවන ඔහු තනිකඩයෙකි. ඇතැම් දින වල සවසට ජිනා කොලුවා අත කාලේ බෝතලයක් ගෙන්නා ගන්නා ඔහු එයත් රැගෙන වරාය පේන තෙක්මානයේ ඔහුගේ හුරුපුරුදු ඉසව්වට සැපත් වෙයි.
“මං එදා ඉඳලම ආසයි මූදට. අපිත් නිකං රැලි අස්සෙ හැංගිලා එන පෙණ වගේ. මට දැං මේ ජීවිතේ සැපයි.. දවසෙ පඩිය හත්සිය පනහයි.. උදේ ප්ලේන්ටියටයි පාන් කෑල්ලටයි විසි පහයි.. දවල් හවස බත් දෙකට එකසිය පනහයි.. රෑට බොන ටී එකට විසිපහයි..දවසක් ඇර දවසක් තමා කාලක් ගහන්නෙ.බීඩි තමා බොන්නෙ...”
සිරිපාලගේ කනේ උඩ රැදවූ යන්තං පිලිස්සුනු බීඩියකි. ඔහු කාලේ බෝතලෙන් අඩක් ගානක්වත් නැතිවම තම මුවට හලාගනී.
“මහත්තයට පේනවද අර කපුටො?” ඔහු ඈත වරාය අසල වසා සිටින කපුටන් රෑනක් මාහට පෙන්නමින් අසයි.
“මහත්තයො උං කොච්චර අව්වෙ හිටියත් උං කලු වෙන්නෙ නෑ.. උං කොච්චර කුණු කෑවත් මැරෙන්නෙත් නෑ.. ආ මං බොරුද කියන්නෙ බලන්න, මාත්තය ජීවිතේට දැකල තියෙනවද මැරිච්ච කපුටෙක්?...”
මදක් රත්පැහැ ගැන්වුනු තම දෑස විසල් කරමින් ඔහු පවසයි.
“මහත්තයො උං පදං වෙලා, හරියට අපි වගේ”
“මං මයෙ අම්මව තාත්ටව දන්නෙ නෑ මහත්තයො.උංගෙ මූනුවත් දකල නෑ. ඉස්සර දඩබ්බරකං වලට එක පාරක් හිරේ ගියා. ඈ.. ආ හේතුව මාත්තයො මං හොරකං කලා ගෑණියෙක්ගෙ චේන් එකක්. කඩං දුවද්දි අහු උනා. පොලිසියෙ මාත්තුරු ගැව්ව මාත්තයො හොඳට.”
සිරිපාල බාගෙයක් දැවුනු බීඩිය ගෙන නැවත දල්වාගනී.
“හැබැයි මාත්තයො මට හොඳ වැඩේ උනේ. මං ඊට පස්සෙ හැදුන. මගෙත් එක්ක එකට හිටපු එව්වො බාගෙට බාගෙයක් සූස්තියට හුරු උනා. හැබැයි මං.. මං උං ඔකෝගෙම අයිං වෙලා කරා නාට්ටාමි රස්සාව !. මාසෙට ඉතුරු කලා රුපියල් නවදහක්!… ඔව් මාත්තයො මාසෙට නවදහක්!.” සිරිපාල උජාරුවෙන් පවසයි. ඔහුගේ මුව රැඳි බීඩියත් ඈත වරායේ දුමබටයකුත් තරඟයට මෙන් දුම් ගුලි පිටකරයි. ඈතින් නග්න හිරු තඹ පැහැයෙන් දිස්න දෙයි.
“අනික මාත්තයො මං ඔය වෙන එඋං වගේ ටවුමෙ ගෑනුගෙවල් වල රිංගන්නෑනෙ… දැන් ඔය ලීල අක්කෑපොට් එක තියෙනව. මං ඔය ඉස්සර එකම එක පාරක් තරුණ කාලෙ රිංගුව. අම්මේ මාත්ටයො ගාන නවසීයයි. ඒක ඇහුවාම දාඩිය ඩබල් උනා. කොහෙ තියෙන සල්ලිද මං අහන්නෙ.. හැබැයි මාත්තයෝ බොරු කියල වැඩක් නෑ මං බූරු නං ගහනව. මෙහෙ පහල මුඩුක්කු පාරෙන් හැරිලා ගියාම තියෙනව අර්ෆත්ගෙ කාමරේ.ඉතින් වාසි දවසුත් තියෙනව. එහෙම දවසට චයිනිස් බත් එකක් එක්ක හොඳ බෝතලයක් අරං ගහනව.තව බීඩි මිටි දෙක තුනක් අරං තියාගන්නව.”
සිරිපාල නැවතත් බීඩියක් පත්තු කරගනී.
“මහත්තයො යන් මයේ ගානේ ප්ලේන්ටියක් ගහන්න ඉස්ටේසමේ හෝටලේට.”
පාර අවට එකම ජන ගඟකි.අප කොටුව ඉස්ටේසම අසලින් එහි ඇතුලත තිබූ කුඩා අවන්හල වෙත යමින් සිටියෙමු.
“මහත්තය දන්නවද, මෙතන ඉන්න පිට්පොකට් ගහන උන් ඔක්කොම මං අඳුරන එවුං. තව හිගන්නො, උනුත් මං අඳුරන් එවුං. අර ඉන්න ගෑණු ටික පේනවා නේද,උන් තාම බිස්නොස් පටන් ගත්තේ නෑ. තව පැයෙන් දෙකෙන් හොයන්නවත් නෑ උන්”
අවන්හලේ මුල්ලකට ගොස් ඉඳගත් සිරිපාල ඈත මගී පර්යන්තය දෙස බලාසිටින්නට විය. කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් පෙනෙන ජන ගංගාව දුම්රිය තුල අතුරුදහන් වනවාක් මෙන් පෙනෙයි.
“ඉතිං සිරිපාල අයියෙ ජිවිතේ අමතක නොවෙන කතා එහෙම නැද්ද?” ඒ ප්‍රශ්නය මගෙනි.
“අපෝ තියෙනව මහත්තයො. මං ඉතින් මේ ලෝකේ කරපු සේරම කරපු එකෙක්. ඔය ගොඩක් උන් නොදැකපු දේවල් දැකපු එකෙක්. මහත්තයට ලියාගන්න පහසු නං මන් කියන්නං. අනික මහත්තයො අර පේන මිනිස්සු ගොඩ බලන්ටකො.. ඔය යන එන මිනිස්සුන්ගේ ඇතුලේ කොච්චර කතා ඇතිද මහත්තයො. මේ ඉස්ටේසම නිකං කතා පොතක් වගේ.......”
චිත්‍රෙ ඇන්දේ කොරල් පේන්ටර් වලින් පොටෝෂොප් වලින්