Saturday, June 3, 2017

මඩ නාගත් දරුවා - මට හමුවුණු මිනිසුන් 3 කොටස



මේ මෙගේ ජිවිතේ තුල හම්බු උණු තවත් අපූරු චරිතයක් ගැන කතාවක් . හැබැයි මේ පාර නම් ලියන්නේ පොඩි කොල්ලෙක් ගැන...


 "අපිට මාළුවෙක් ඕනේ..."


හැමදාම අපේ ගෙවල් පාරෙ යද්දි මම අහන්න  බලාපොරොත්තු වෙන වචන ටිකක් තියෙනව...

"...අයියෙ අපිට මාළු නැද්ද?.... අපිට මාළුවෙක් ඕනේ... කෝ ඔයාලෑ  අම්ම..."


මම හැමදාම පාරෙ යනකොට ඈත තියාම මගෙ ලඟට දුවගෙන එන මේ පොඩි කොල්ල අහනව..

"...කෝ ඔයා ජෑම් බෝතලයක් අරං එන්නකෝ මම දෙන්නන් හෙට ගප්පි පැටව් ටිකක්..." 

එහෙම කියන මම හිනාවක් දාගෙන අපේ ගේ පැත්තෙ පාරට හැරෙනව. මම ටික දුරක් යද්දි ඈතින් ඇහෙනව ආයෙත් ඒ පොඩි කොල්ලගෙ හඬ...

"...බායි අයියේ... අපිට මාළු ගෙනත් දෙන්න..."

ගමනෙන් හෙම්බත් වෙලා ඉන්න මම ඒ දිහාවත් නොබල අත වනාගෙන හයියෙන් ගමටම ඇහෙන්න බායි කියාගෙන යනව...

මේ පුංචි දරුව ජිවත් වෙන්නෙ අපූරු පරිසරයක. ඒ කිව්වේ ගොවිපලක. අපේ ටවුමේ නෝනලා මහත්තුරුන්ට නං ඉතිං මේක අපූරු පරිසරයක් වෙන්නෙ නැති වෙයි ගොඩක් දුරට. මී හරක් ගාලක්, පාර පුරා ඇවිදින කුකුල්ලු, බොහොම හොඳට හිලෑ වුනු බල්ලෝ ජෝඩුවක්, එළුවො... මේ වගේ සත්තු ගොඩක් එක්ක තමා මේ දරුව ජිවත් වෙන්නෙ...

මේ දරුවගේ තාත්තා ජිවතුන් අතර නෑ. තාත්ත ගේ අභාවයෙන් පස්සෙ, මීහරක් පට්ටියේ වගකීම පැවරුනේ මේ දරුවගේ අම්මට. රැයක් දවාලක් නැතිව මීහරක් පට්ටියත් එක්ක ඔට්ටු වෙන ඇය හැබෑ දිරිය කාන්තාවක්. මේ දරුවට තව ඉන්නව ආච්චි කෙනෙක් ඒ වගේම සහෝදරියකුත්...

"...අයියෙ අර මාළු මැරුණ... මම උන්ව අතගෑව ආදරේට..."

දවසක් මම පාරෙ යද්දි සුපුරුදු හඬ  ඇහෙන්න ගත්ත...

"...හයියෝ ඇයි අතගෑවේ.... උන්ගේ හම තුවාල වෙනව ඇති..." 


හිතට ආපු පොඩි දුකක් හංගන් මම කියාගෙන ගියා.



ඔන්න ඔය වගේ තව දවසක්.. මම වෙනද වගේම ඒ දරුව ඉන්න ගෙදර ගාවින් අපේ ගෙදරට හැරෙද්දී, මේ දරුවා දුවන් එනව කුකුලෙකුත් අතේ අරං අයියේ කියාගෙන (මම ඉතිං ෆොටෝ එහෙකුත් ගහගත්ත - උඩ පින්තූරේ බලන්නකෝ).

"..අයියේ මේ මගෙ යාලු කුකුල් පැටියෙක්... මං ඌව ආදරේට ඇති කරනව..."  

දූවිල්ල නාගත්ත මේ පොඩි දරුව හිනා වේවි කියන්න ගත්ත.

තව දවසක් හොඳටෝම වැහැලා වැස්ස පායලා. ඔන්න එදත් මම ආව දෙවට පාර දිගේ අපේ ගෙවල් වලට යන පාර අහුවෙනකන්. මේ පොඩි කොල්ල ඔන්න ආයෙමත් ඈත ඉඳන් දුවන් එනව මඩ නාගෙන. කකුල් දෙකේ වළලුකර හරියට යනකං ගොම ගාගෙන.  ඔන්න ආයෙමත් පුරුදු කතාවම කියනව...

"..අයියෙ අපිට මාළු නැද්ද? ... අර ලොකු මාළුව කෝ..?"



පලි:

අපේ දෙමාපියෝ පොඩි කාලෙ කරපු කියපු දේවල් ඇහුවාම මට හිතෙනව මං මොනාද කලේ කියල. ඒත් මේ දැන් අපේ කාලෙ ඉන්න කොල්ලො කෙල්ලෝ පොඩි කාලෙ කන කට්ට දැක්කාම මට හිතෙනව මම කොච්චර වාසනාවන්තද කියල. පොඩි හිච්චි කොල්ලො කෙල්ලොන්ව අම්මල තාත්තල ඔන්න යන්තං කිරි බොන වයස ඉවර උණු හැටියේම ගෙනියනව කලාස් වලට. ඉංගිරිසි ක්ලාස් කියයි ච්ත්‍ර කියයි නැටුන් කියයි ... හප්පේ ...  තව මොන්ටිසෝරි...
ඔයා පුතා මේ ඉන්ග්ලිෂ්  වචන ටික මට කටපාඩම් දෙන්න ඕනේ... හා හා යන්නෑ වැස්සේ තෙමෙන්න ...  මේ ඔය ටීවී බලන එක නතර කරනව... යනව ගිහිං ඉස්කෝලෙ වැඩ කරනව මගෙ යකා අවුස්සගෙන්නේ නැතුව... ආ එහාගෙදර ඇන්ටිගේ දුව බලනව හැමදාම පන්තියේ පළවෙනිය... ඒකට තමුසෙ ... බලනව ලකුණු... මේකටද අපි නැහිලා නැහිලා වියදං කරන්නෙ... නෑ නෑ කමක් නෑ රෑ එකොළහ වෙනකන් ඇහැරිලා ඉන්නව... කෝ පාඩන් කලාද ...

මඩේ නෙළුම්මල් පිපෙනවා නෙ මම හිතන්නේ මේ දරුවත් ඒ වගේ නෙලුම් මලක්..! 
Location: Padukka, Sri Lanka

4 comments:

  1. Replies
    1. මේකෙ මචං කියල තියෙන්නෙ පොඩි දරුවෙක් ගැන. පොරගේ වචන කතා කරන විදිය හෙම හෙනම වෙනස්. ඒත් මූ පට්ටම අතල් එකේ ජිවත් වෙන කොල්ලෙක්. කොයි වෙලාවෙත් මඩ නාගෙන... සත්තු එක්ක .... මං ඒ දරුව ගැන කීවේ...

      Delete
  2. දෙකම අන්ත දෙකක්. මම කියන්නේ නම් මඩ නාගන්න ගමන් ඉගෙනගන්නත් ඕනේ කියල. ( පොත පත විතරක් නෙවෙයි, ජිවිතේ)

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව ලිඛිතා !!! ඒත් අද සමාජයේ ගොඩක් දුරට තියෙන්නෙ ඔය අන්ත දෙකෙන් එකක්... දෙකෙන් එකක් කිව්වත් ගොඩක් දුරට ඉගෙනගන්න අන්තෙම විතරයි... හැබැයි ඉතිං ඒක සාධාරණයි මොකෝ අපි දුප්පත් රටක් නිසා...

      Delete