Thursday, May 25, 2017

මට හමුවුණු මිනිසුන් 1 කොටස - ගස් සිටවන්නිය



මට ඇය හමුවුනේ 2015 අවුරුද්දේ විතර වෙන්න ඕනෙ. සුදු පාට දිග කොණ්ඩයක් තිබුණු ඇය නෝවීජියානු ජාතික  සරණාගත කාන්තාවක්. දැනටනම් ඇය පදිංචිව ඉන්නෙ මැලේශියාවේ නගරබද තට්ටු නිවාසෙක.
 මේ හමුවීමත් හරිම අහම්බයෙන් සිද්ද උනේ. ඉස්සර මම පුරුදු වෙලා හිටිය කොළඹ මහජන පුස්තකාලෙට සති දෙකකට සැරයක් ගිහිං එන්න. හේතුව උනේ  ඒ කාලෙ මම ඉගෙනගනුමින් හිටපු මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ගැන මහජන පුස්තකාලේ තිබුණු බොහොම වටිනා පොත් එකතුව වගේම සිංහල පරිවර්තන පොත් කියවන්න තිබුණු මේනියාව. ඔය පරිවර්තන ලෙඩේ කොච්චර දරුණුවට හැදුනද කිව්වොත් මම අපේ තාත්තට අයිති පුස්තකාල සාමාජික පත පවා හොරෙන් අරගන්න පෙළඹුනා කාලයක් යනකොට. මම ඉගෙනගන්න විෂයට අදාළ පොතක් අරං,, ඊගාවට හිතේ බොහොම සතුටින් පරිවර්තන පොත් තුනක් ම අරං, ගෙදර ගිහිං හොරෙන් කියෝන ජිවිතයක් ඔය කාලෙ තිබුනෙ. හොරෙන් කියවන්න හේතුව තමා අපේ ගෙදර අම්ම තාත්ත පරිවර්තන, නවකතා වලට දක්වපු දැඩි විරෝධය. 


මම ඔයවගේ දවසක හවස් වෙලා පුස්තකාලෙට ගිහිං පණු කැන්ටිමට යනකොට, අනුස්මරණ ස්මාරකේ ගාවදි මට හමුවුනා සුදු දිග කොණ්ඩයක් තියෙන  රූමත් විදේශික  කාන්තාවක්. ඇය මගෙ ගාවට ඇවිදින් හලෝ කිව්ව.
                                       
"හලෝ මගෙ නම නඕමි... ඔයාට සුභ සන්ධ්‍යාවක්..! (hi I'm Naomi, have a nice evening...)"

    
ඔන්න එතකොටම මගෙ උගුර වේලිලා ගියා වගේ හැඟීමක් එක පාරටම දැනෙන්න ගත්ත. හේතුව තමා මම ඉංගිරිසි කතා කරන්න නොදැන හිටීම වගේම ඇයගෙ තිබුණු බොහොම ලස්සන රූපසොබාව (ඉංගිරිසි පොතක් බලල තෙරුන් ගන්න හැකියාවක් තිබුනත් මගෙ කතා කරන බාසාව ඔය කාලෙ  තිබුනෙ බොහොම ලාමක අවධියෙ). ඉතිං ඔන්න මම පටල පටල ඇයට සුබ පතල, "මට ඔයාට උදව් වෙන්න පුළුවන් ද කියල ඇයගෙන් ඇහුව (can I help you?)..."

ඇය මට පැවසුව විදියට ඇය බොහොම පරිස්සමෙන් ආරක්ෂා කරන පසුම්බියක් විහාරමහාදේවි උද්‍යානයේ අනුස්මරණ ස්මාරකේ ගාවදි බිමට වැටිල. ඉතිං ඇය මගෙන් උදව් ඉල්ලුව හොයාගන්න එන්න පුළුවන් ද කියල. ඒ වෙලාවේ මගෙ ඔලුවේ තිබුනෙ ඉක්මනට ගෙදර යන චේතනාවක්. ඒත් මං ඇයට, මට නොදනිම උදව් කරන්න ඉදිරිපත් උනා. (මේක මං මගෙ හොඳම යාලුවන්ට කිව්වාම නං උන්ගේ පිළිතුර උනේ, "අනේ පල *කෝ යන්න තෝ යටත්විජිත මානසිකත්වෙන් ඔය *ත්තිට කෙල හලන්න ඇති... " වගේ කතා ටිකක් 👀😅) 

ඔන්න ඉතිං විනාඩි විස්සක් විතර හොයද්දි ඇයටම ඇයගෙ පසුම්බිය හමුවුනා, තණකොළ බිස්ස උඩ අයිනක වැටිල තිබිල. ඇයට ඒ පසුම්බිය හමු උනාම තමා  ඒ බොහොම ලස්සන මූන මට හරියටම දකින්න පුළුවන් උනේ. ඇය මට ස්තුතී කරන ගමන් ඉල්ලීමක් කළා ඇයත් එක්ක අහල පහල තිබුණු චීන අවන්හලකින් රෑ කෑම එක වේලාසනින් ගන්න පැමිණෙන්න කියල. මම මේ අවන්හල දැකල තිබුනත් ජීවිතේට ගිහිං තිබුනෙ නං නැහැ ( නම chinatry dish අර්නස්ට් ඩි සිල්වා පාරෙ තියෙන්නෙ).

 ඔන්න ඉතිං මම මේ කාන්තාව එක්ක අවන්හලට ගොඩ උනා. සයිවර් කඩ ගානෙම ගෙවිච්ච ජිවිතෙන් එලියට ඇවිත් මේ වගේ අවන්හලකින් කෑම කන එකෙත් ඉතිං පොඩි අමුත්තක් තිබුන. ඔන්න ඉතිං බොහොම රසවත් බැදපු කුකුල් අඬු තොගයක් කන ගමන් ඇය මගෙත් එක්ක දොඩමලු වෙන්න උනා.

ඇය මට කිව්ව විදිහට, ඇය නෝවීජියානු සරණාගත කාන්තාවක්. උපත ලබල තියෙන්නෙ හංගේරියාවේදි. ඇය කෑම ගන්න අතරෙදි, ඇය බොහොම ප්‍රවේසමෙන් ආරක්ෂා කරපු පසුම්බිය කිසිම හේතුවක් නැතිව මට පෙන්වුවා. ඒක ඇතුලෙ තිබුනෙ එක එක වර්ග වල පැකට් කරපු ඇටවර්ග ලොකු ප්‍රමාණයක්. 

"මම විනෝදෙට කරන්නෙ ගස් හිටවන එක... මම රට රටවල් වල කැලෑ වලට ගිහිං එක කැලේකට ගස් දාහක් විතර හිටවල, ඒවාට තනියෙන් වැඩෙන්න පුළුවන් වෙනකන් ඉඳල ඒ රටෙන් පිටවෙනව.."

"මේ ඔයාලගෙ රටේ බොහොම වටින ගස් වල ඇට තොගයක්. මේ ඕකිඩ් එක හරිම දුර්ලබ ජාතියක්. මම ඒවගෙන් අමාරුවෙන් ඇට ගොඩක් හොයාගත්තා... මං ඒවා ලබන සතියෙ ඔයාලගෙ කැලෑවක පැල කරන්න ඉන්නෙ..."

ඇයගේ මුහුණේ තිබුනෙ ලස්සන හිනාවක්. මට මේ කතාව කියද්දී ලොකු පුදුමයක් එක්ක ම හිතාගන්න බැරි තරම් ගෟරවයක් ඇති උනා..."

"ඇයි ඔයා මෙහෙම කරන්නෙ.. කිසි ලාබයක් නැතිව..." අමාරුවෙන් වාක්‍යයක් දෙකක් මූට්ටු කරලා මම ඇහැව්ව..

"..මම ලාබ ලබන  කෙනෙක් නෙවේ. එදා වේල ජිවත් වෙන කෙනෙක්. මම රැකියාවෙන් නොබැඳි වෘත්තිකයෙක් (freelancer). සල්ලි හොයාගෙන රට රටවල් වලට ගිහිං මගෙ මේ හීනෙට පණ දෙන එක තමයි මම කරන්නෙ. මට කාත් එක්කවත් බැඳීම් නැහැ.."

"...කාලයක් මට තිබුනෙ විකාර ජිවිතයක්. මම ගතකලේ හිපි ජිවිතයක්... දකින දකින  පිරිමියත් එක්ක ලිංගිකව හැසිරුනා.. මත්ද්‍රව්‍ය අහුවෙන අහුවෙන එක ගත්ත... කාලයත් එක්ක මම පුරුදු උනා ක්රොකඩිල් කියන මත්ද්‍රව්‍යයට. ඒ පුරුදු උනේ මගෙ හිටපු රුසියන් ප්‍රේමවන්තයාගේ මාර්ගයෙන්... මේ ඒකෙ ප්‍රථිපල..." කියමින් ඇය මට, ඇය ඇඳ සිටි අත් දිග ශර්ටයේ අත කොට කර ගැඹුරට හෑරුණු තුවාලයක් පෙන්වුව (මම ඉන්ටර්නෙට් එකෙන් මේ මත්ද්‍රව්‍ය ගැන හොයල බැලුව ඒ කාලෙ, ලිංක් එකක් පහල ඇති කියවන්න ඕන අයට ..)

"මම දැන් ඒ ජීවිතෙන් මිදිල ඉන්නෙ.. මම ලාමා තුමාගේ දහමට ගොඩක් ලැදි බුද්ධාගමේ කෙනෙක් ඒත් මං ජේසුටත් ගොඩක් ආදරෙයි.. තව අල්ලාහ් ටත්..." 

අපි අවන්හලෙන් පිටවෙද්දී ටික දුරක් කිසි කතාවක් නැතුව යන්න ඇති. ටික දුරක් යද්දි ඇය අතට අත දීල මගෙන් සමුගත්ත.. දැනටත් ඇය මගේ බොහොම හිතවත්  ඉන්ස්ටග්‍රෑම් මිතුරියක්. නම සඳහන් කරන්න නං හැකියාවක් නැහැ. නමුත් මෙහෙම මිනිසුනුත් ඉන්න බවත් ඒ මිනිසුන්ගෙන් ගන්න ආදර්ශ ගොඩක් තිබෙන බවත් කියවන ඇය මතක තබාගන්න...

ඇය නිහඬ දෙව්දුවක්!


පලි:
අපි මහජන පුස්තකාල කැන්ටිමට පණු කැන්ටිම කිව්වේ හේතුවක් ඇතිව. කාලයක් යද්දි දන්න අයට මතක ඇතිනෙ සීලුත් තිබ්බ කැන්ටිමට...


 ක්රොකඩිල්  ගැන :

http://www.narconon.org/drug-information/krokodil.html




4 comments:

  1. Replies
    1. thanks for reading ලිඛිතා !!!!

      Delete
  2. ආයෙත් වැඩේට බැහැලා වගේ , ගිය පාර වගේ රීගන ගාගන්ඩ නං එපා සුදෝ

    ReplyDelete
    Replies
    1. මේක නිකං සයිඩ් එකෙන් කරන එකක්... එළ එළ දෙයියෝ දැන් හැදිලා ඉන්නෙ !!!!

      Delete