Friday, January 13, 2017

නාට්ටාමී 1 කොටස - ඇරඹුම

නාට්ටාමි 1 කොටස - ඇරඹුම

“මගෙ නම මහත්තයො සිරිපාල. හැදුනෙ වැඩුනෙ බොරැල්ලෙ කඩකෑලි යට”
ඒ සිරිපාලගේ කටහඬයි. දැන් තලතුනා වියෙහි පසුවන ඔහු තනිකඩයෙකි. ඇතැම් දින වල සවසට ජිනා කොලුවා අත කාලේ බෝතලයක් ගෙන්නා ගන්නා ඔහු එයත් රැගෙන වරාය පේන තෙක්මානයේ ඔහුගේ හුරුපුරුදු ඉසව්වට සැපත් වෙයි.
“මං එදා ඉඳලම ආසයි මූදට. අපිත් නිකං රැලි අස්සෙ හැංගිලා එන පෙණ වගේ. මට දැං මේ ජීවිතේ සැපයි.. දවසෙ පඩිය හත්සිය පනහයි.. උදේ ප්ලේන්ටියටයි පාන් කෑල්ලටයි විසි පහයි.. දවල් හවස බත් දෙකට එකසිය පනහයි.. රෑට බොන ටී එකට විසිපහයි..දවසක් ඇර දවසක් තමා කාලක් ගහන්නෙ.බීඩි තමා බොන්නෙ...”
සිරිපාලගේ කනේ උඩ රැදවූ යන්තං පිලිස්සුනු බීඩියකි. ඔහු කාලේ බෝතලෙන් අඩක් ගානක්වත් නැතිවම තම මුවට හලාගනී.
“මහත්තයට පේනවද අර කපුටො?” ඔහු ඈත වරාය අසල වසා සිටින කපුටන් රෑනක් මාහට පෙන්නමින් අසයි.
“මහත්තයො උං කොච්චර අව්වෙ හිටියත් උං කලු වෙන්නෙ නෑ.. උං කොච්චර කුණු කෑවත් මැරෙන්නෙත් නෑ.. ආ මං බොරුද කියන්නෙ බලන්න, මාත්තය ජීවිතේට දැකල තියෙනවද මැරිච්ච කපුටෙක්?...”
මදක් රත්පැහැ ගැන්වුනු තම දෑස විසල් කරමින් ඔහු පවසයි.
“මහත්තයො උං පදං වෙලා, හරියට අපි වගේ”
“මං මයෙ අම්මව තාත්ටව දන්නෙ නෑ මහත්තයො.උංගෙ මූනුවත් දකල නෑ. ඉස්සර දඩබ්බරකං වලට එක පාරක් හිරේ ගියා. ඈ.. ආ හේතුව මාත්තයො මං හොරකං කලා ගෑණියෙක්ගෙ චේන් එකක්. කඩං දුවද්දි අහු උනා. පොලිසියෙ මාත්තුරු ගැව්ව මාත්තයො හොඳට.”
සිරිපාල බාගෙයක් දැවුනු බීඩිය ගෙන නැවත දල්වාගනී.
“හැබැයි මාත්තයො මට හොඳ වැඩේ උනේ. මං ඊට පස්සෙ හැදුන. මගෙත් එක්ක එකට හිටපු එව්වො බාගෙට බාගෙයක් සූස්තියට හුරු උනා. හැබැයි මං.. මං උං ඔකෝගෙම අයිං වෙලා කරා නාට්ටාමි රස්සාව !. මාසෙට ඉතුරු කලා රුපියල් නවදහක්!… ඔව් මාත්තයො මාසෙට නවදහක්!.” සිරිපාල උජාරුවෙන් පවසයි. ඔහුගේ මුව රැඳි බීඩියත් ඈත වරායේ දුමබටයකුත් තරඟයට මෙන් දුම් ගුලි පිටකරයි. ඈතින් නග්න හිරු තඹ පැහැයෙන් දිස්න දෙයි.
“අනික මාත්තයො මං ඔය වෙන එඋං වගේ ටවුමෙ ගෑනුගෙවල් වල රිංගන්නෑනෙ… දැන් ඔය ලීල අක්කෑපොට් එක තියෙනව. මං ඔය ඉස්සර එකම එක පාරක් තරුණ කාලෙ රිංගුව. අම්මේ මාත්ටයො ගාන නවසීයයි. ඒක ඇහුවාම දාඩිය ඩබල් උනා. කොහෙ තියෙන සල්ලිද මං අහන්නෙ.. හැබැයි මාත්තයෝ බොරු කියල වැඩක් නෑ මං බූරු නං ගහනව. මෙහෙ පහල මුඩුක්කු පාරෙන් හැරිලා ගියාම තියෙනව අර්ෆත්ගෙ කාමරේ.ඉතින් වාසි දවසුත් තියෙනව. එහෙම දවසට චයිනිස් බත් එකක් එක්ක හොඳ බෝතලයක් අරං ගහනව.තව බීඩි මිටි දෙක තුනක් අරං තියාගන්නව.”
සිරිපාල නැවතත් බීඩියක් පත්තු කරගනී.
“මහත්තයො යන් මයේ ගානේ ප්ලේන්ටියක් ගහන්න ඉස්ටේසමේ හෝටලේට.”
පාර අවට එකම ජන ගඟකි.අප කොටුව ඉස්ටේසම අසලින් එහි ඇතුලත තිබූ කුඩා අවන්හල වෙත යමින් සිටියෙමු.
“මහත්තය දන්නවද, මෙතන ඉන්න පිට්පොකට් ගහන උන් ඔක්කොම මං අඳුරන එවුං. තව හිගන්නො, උනුත් මං අඳුරන් එවුං. අර ඉන්න ගෑණු ටික පේනවා නේද,උන් තාම බිස්නොස් පටන් ගත්තේ නෑ. තව පැයෙන් දෙකෙන් හොයන්නවත් නෑ උන්”
අවන්හලේ මුල්ලකට ගොස් ඉඳගත් සිරිපාල ඈත මගී පර්යන්තය දෙස බලාසිටින්නට විය. කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් පෙනෙන ජන ගංගාව දුම්රිය තුල අතුරුදහන් වනවාක් මෙන් පෙනෙයි.
“ඉතිං සිරිපාල අයියෙ ජිවිතේ අමතක නොවෙන කතා එහෙම නැද්ද?” ඒ ප්‍රශ්නය මගෙනි.
“අපෝ තියෙනව මහත්තයො. මං ඉතින් මේ ලෝකේ කරපු සේරම කරපු එකෙක්. ඔය ගොඩක් උන් නොදැකපු දේවල් දැකපු එකෙක්. මහත්තයට ලියාගන්න පහසු නං මන් කියන්නං. අනික මහත්තයො අර පේන මිනිස්සු ගොඩ බලන්ටකො.. ඔය යන එන මිනිස්සුන්ගේ ඇතුලේ කොච්චර කතා ඇතිද මහත්තයො. මේ ඉස්ටේසම නිකං කතා පොතක් වගේ.......”
චිත්‍රෙ ඇන්දේ කොරල් පේන්ටර් වලින් පොටෝෂොප් වලින්

0 comments:

Post a Comment