Tuesday, May 30, 2017

දෙවියන් අප අතරමයි ! - මට හමුවුණු මිනිසුන් 2 කොටස

මිනිසුන් මිනිසත්කම   
ඡ‍ායාරෑපය ගූගල් වෙතින්. හිමිකම් ඡ‍ායාරෑප ශිල්පියා සතුයි.
මම අද කියන්න යන්නේ කතා දෙකක්. අපි අතරේම ඉන්න මිනිසුන් කොට්ටාශයක් පිළිබඳව.
මිනිස්සු ඔවුන්ව විවිධ නම් වලින් හඳුන්වනව. බොහෝ මිනිස්සු ඔවුන්ව හඳුන්වන්නේ රණ විරුවන් කියල. එහෙම උනත් මේ හැඳින්වීමෙන් අපගමනය වෙච්ච  සමාජයේ මධ්‍යමපාන්තික උගත් කියල සම්මත (ගොඩක් දුරට මම දැකපු විදියට) සමහරක් මිනිස්සු මොවුන්ව හඳුන්වනව "ආමි කාරයා" වගේ නමකිනුත්; අර ග්‍රාමාරක්ෂක මහත්වරුන්ට ගම්බට්ටන් කියල කියනව වගේ. මේ දවස් වල ෆේස්බුක් එකේ යන "අට පාස්" කියල දාන ජරා පෝස්ට් ගැන නං මම කතා කරන්න යන්නේ නෑ. ඒතරම්ම කලකිරීමක් තියෙන්නෙ ඒ ගැන.

මේ කියන්න යන කතා තුන මගෙ ජිවිතේ සිද්ද වුනු සිද්දි කීපයක් ගැන කියවෙන ඒව. අද රටේ ඇතිවෙලා තියෙන මේ ව්‍යවසනය අතරෙ මේ බ්ලොග් පෝස්ට් එක  කියවන මිනිස්සුන්ට, ඒ මිනිස්සුන්ගේ හිතට, හමුදාවේ මහත්වරුන් (ඔව් ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන්) කරන මේ කැපවීම හැබැවටම තවත් තදින් දැනෙනවා නම් මගේ අරමුණ සාර්ථකයි කියල කියන්න පුළුවන්.


හිත රිදෙන සිදුවීමක් 

මම හිතන්නේ ඒ 2014 අවුරුද්දෙදි වෙන්න ඕනෙ. මම වෙනද වගේම මගෙ ගම් පළාතේ ඉඳන් කොටුව දක්වා යන බස් එකට ගොඩවුනා. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට  ඉඳ ගන්නේ බස් එකේ පිටිපස්සෙම සීට් පේළිවල. ඒත් එදා දවසේ මට ඉඳගන්න ලැබුනේ බස්සෙකේ මැදට වෙන්න පිහිටලා තිබුන සීට් එකක.

ඔන්න ඉතිං බස් එක ගමනාරම්භ කරලා පැය බාගෙයක් විතර ගතවුණා. බස් එකේ ටිකෙන් ටික සෙනග පිරිලා, බස් එක සෙනගගෙන් පැක් වෙන්න උනා. හැල්මේ යන බස් එක ටිකෙන් ටික ගොඩගම හන්දිය, කාර්මික විද්‍යාලය, ලක්ෂපාන බැටරි කොම්පැනිය පහු කරලා පනාගොඩ කෑම්පෙක හරියට සේන්දු වුණා. කෑම්පෙකේ වංගුවත්  අරං මහ හයියෙන් බ්‍රේක් පාරකුත් ගහගෙන, බස් එක නතර උනා කෑම්පෙකේ පන්සල ගාව බස් හෝල්ට් එකේ. නවත්තපු ඇසිල්ලෙන්, අව්වට මූණු කළු වුනු, කෙට්ටු ඒත් බොහොම සවිමත් කියල පෙනුණු සිරුරු තිබුණු, ලොකු ට්‍රැවලින් බෑග් කීපයක් අතින් එල්ලාගත් හමුදාවේ මහත්වරු කීපදෙනෙක් නවත්තපු  බස් එකට නැග්ගා එයාලගේ ගම් රටවල් බලා යන්න.

බස් එකේ කොන්දොස්තර මහත්තයගේ කටේ තිබුණු එකම වචන සෙට් එක ආයෙමත් ඇහෙන්න ගත්තා.

"ඔය මැද පේළිය ඉස්සරහට යන්න... මෙතන දොර ගාව ඉන්නැතුව..."

බස් එක ආයෙමත් හැල්මේ දුවන්න ගත්ත. ඔහොම පැය බාගෙයක් විතර යන්න ඇති. මමත් මගේම කියල කල්පනා ලෝකෙක තනිවෙන්න උනා. ඒත් එක පාරටම මං ගාව හිටිපු කෙනෙක් "..මල්ලී" කියල මගෙ පිටට තට්ටුවක් දැම්ම.

අඳුරන කෙනෙක් කියන අපේක්ෂාවෙන් මම හැරිලා බලන්න ඇති. බලද්දී මට කතා කරලා තියෙන්නේ අර හමුදාවේ මහත්මයෙක්..

"..මල්ලියෙ  අනේ උදව්වක් කරනවද..  මගෙ මේ බොරු කකුලක් දාපු කකුල හිටගෙන ඉන්න බැරි ගානට රිදෙනවා.. මට ඉඳගන්න පොඩි උදව්වක් දෙනවද..."
"..මල්ලියේ පැනඩෝල් නැද්ද.. අනේ මල්ලිට කරදරයක් ද මන්දා.."

 මම බෑක් එකේ පැනඩෝල් හොයන අතරෙ ඒ මහත්මයා කියන්ට වුණා. ඒත් එක්කම ඒ අහපු වචන ටික නිසා  මගෙ හිතට ආවෙ දරාගන්න බැරි වේදනාවක්..

"..මල්ලි.. බ්ලාස්ට් එහෙකට අහුවෙලා  දනිස්ස ගාවිම්ම වෙන්වුණා. දැන් හොඳ උනාට ඉස්නායු වල අවුලක් තියෙනව. ඒකයි මේ වේදනාව... මම හොරොව්පතානෙ ගමේ යන ගමන් මල්ලි..." 

ටික දුරක් යද්දි වේදනාව අඩු වෙලාද කොහේදෝ ඒ මහත්මයා හිටගෙන උන්නු මාත් එක්ක කියන්න උනා. 


ඉතිං මට බහින්නත් වෙලාව ලං උනා. ජිවිතේ එක පාරක් විතරක් හම්බෙන ඒ මහත්මයාට ආයුබෝවන් කියල මම මහරගමින් බස්සෙකෙන් බැස්සා. මගෙ හිතේ එදා ඇති වෙච්ච ඒ හිස් හැඟීම හැමදාකම කෑම්ප් එකේ පන්සල ගාව හෝල්ට් එක පහුවෙද්දී අදත් ඒ විදිහටම දැනෙනව. අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු ඒ මහත්මයාගෙ මුහුණේ ඒ වෙලාවේ තිබුණු වේදනාව මට තවමත් මැවිල පේනව.



කුඩිම්බිගල හාමුදුරුවො ගිලන් වෙලා 

මේ දෙවෙනි කතාවෙ ඇරඹුම මම හිතන්නේ 2010 අවුරුද්දේ වෙන්ට ඕනේ. මගෙ යාලුවෝ වගෙයක් අපේ අපේ පවුල් වල උදවිය හා හා පුරා කියල ගියා අම්පාර පැත්තට පොඩි විනෝද ගමනක්. මම මතක විදිහට මේක දවස් හතරක් විතර දිග විනෝද ගමනක්. ඔහොම ගිය ගමනේ එක නැවතුම්පොළක් උනේ කුඩිම්බිගල තපෝවනය. මේ කුඩිම්බිගල කියන්නෙ කුමන ජාතික වනෝද්‍යානය ඇතුලත තියෙන බොහොම පැරණි ආරාම සංකීර්ණයක්. මේ ආරාම සංකීර්ණයේ දැනට භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරන්නෙ බොහොම උස කුඩුම්බිගල කන්දේ මුදුනේ හදාගත්ත බොහොම අපූරු ආරාමයක. අපි මේ ගිය දවසේ කුඩුම්බිගල හාමුදුරුවො ගිලන්වෙලා රෝහලට අරං යන්න සිද්ද උනා. ඉතිං මේ ඉන්න පරිසරෙත් එක්ක මේ හාමුදුරුවන්ව කන්දෙන් පහලට ගෙනියන්න තිබුණු එකම ක්‍රමය උනේ මේ වගේ පුටුවක තියල බොහොම ප්‍රවේසමෙන් පහලට අරං යන එක. ඉතිං මේ කාර්‍යයට වෙහෙස නොබලා කඳු පාමුල ඉඳන් ආවේ මේ රූපේ ඉන්න හමුදාවේ මහත්වරු ටික. මට මේ පින්තූරේ එක පාරටම මතකෙට ආපු නිසා දැම්ම.... 

Thursday, May 25, 2017

මට හමුවුණු මිනිසුන් 1 කොටස - ගස් සිටවන්නිය



මට ඇය හමුවුනේ 2015 අවුරුද්දේ විතර වෙන්න ඕනෙ. සුදු පාට දිග කොණ්ඩයක් තිබුණු ඇය නෝවීජියානු ජාතික  සරණාගත කාන්තාවක්. දැනටනම් ඇය පදිංචිව ඉන්නෙ මැලේශියාවේ නගරබද තට්ටු නිවාසෙක.
 මේ හමුවීමත් හරිම අහම්බයෙන් සිද්ද උනේ. ඉස්සර මම පුරුදු වෙලා හිටිය කොළඹ මහජන පුස්තකාලෙට සති දෙකකට සැරයක් ගිහිං එන්න. හේතුව උනේ  ඒ කාලෙ මම ඉගෙනගනුමින් හිටපු මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ගැන මහජන පුස්තකාලේ තිබුණු බොහොම වටිනා පොත් එකතුව වගේම සිංහල පරිවර්තන පොත් කියවන්න තිබුණු මේනියාව. ඔය පරිවර්තන ලෙඩේ කොච්චර දරුණුවට හැදුනද කිව්වොත් මම අපේ තාත්තට අයිති පුස්තකාල සාමාජික පත පවා හොරෙන් අරගන්න පෙළඹුනා කාලයක් යනකොට. මම ඉගෙනගන්න විෂයට අදාළ පොතක් අරං,, ඊගාවට හිතේ බොහොම සතුටින් පරිවර්තන පොත් තුනක් ම අරං, ගෙදර ගිහිං හොරෙන් කියෝන ජිවිතයක් ඔය කාලෙ තිබුනෙ. හොරෙන් කියවන්න හේතුව තමා අපේ ගෙදර අම්ම තාත්ත පරිවර්තන, නවකතා වලට දක්වපු දැඩි විරෝධය. 


මම ඔයවගේ දවසක හවස් වෙලා පුස්තකාලෙට ගිහිං පණු කැන්ටිමට යනකොට, අනුස්මරණ ස්මාරකේ ගාවදි මට හමුවුනා සුදු දිග කොණ්ඩයක් තියෙන  රූමත් විදේශික  කාන්තාවක්. ඇය මගෙ ගාවට ඇවිදින් හලෝ කිව්ව.
                                       
"හලෝ මගෙ නම නඕමි... ඔයාට සුභ සන්ධ්‍යාවක්..! (hi I'm Naomi, have a nice evening...)"

    
ඔන්න එතකොටම මගෙ උගුර වේලිලා ගියා වගේ හැඟීමක් එක පාරටම දැනෙන්න ගත්ත. හේතුව තමා මම ඉංගිරිසි කතා කරන්න නොදැන හිටීම වගේම ඇයගෙ තිබුණු බොහොම ලස්සන රූපසොබාව (ඉංගිරිසි පොතක් බලල තෙරුන් ගන්න හැකියාවක් තිබුනත් මගෙ කතා කරන බාසාව ඔය කාලෙ  තිබුනෙ බොහොම ලාමක අවධියෙ). ඉතිං ඔන්න මම පටල පටල ඇයට සුබ පතල, "මට ඔයාට උදව් වෙන්න පුළුවන් ද කියල ඇයගෙන් ඇහුව (can I help you?)..."

ඇය මට පැවසුව විදියට ඇය බොහොම පරිස්සමෙන් ආරක්ෂා කරන පසුම්බියක් විහාරමහාදේවි උද්‍යානයේ අනුස්මරණ ස්මාරකේ ගාවදි බිමට වැටිල. ඉතිං ඇය මගෙන් උදව් ඉල්ලුව හොයාගන්න එන්න පුළුවන් ද කියල. ඒ වෙලාවේ මගෙ ඔලුවේ තිබුනෙ ඉක්මනට ගෙදර යන චේතනාවක්. ඒත් මං ඇයට, මට නොදනිම උදව් කරන්න ඉදිරිපත් උනා. (මේක මං මගෙ හොඳම යාලුවන්ට කිව්වාම නං උන්ගේ පිළිතුර උනේ, "අනේ පල *කෝ යන්න තෝ යටත්විජිත මානසිකත්වෙන් ඔය *ත්තිට කෙල හලන්න ඇති... " වගේ කතා ටිකක් 👀😅) 

ඔන්න ඉතිං විනාඩි විස්සක් විතර හොයද්දි ඇයටම ඇයගෙ පසුම්බිය හමුවුනා, තණකොළ බිස්ස උඩ අයිනක වැටිල තිබිල. ඇයට ඒ පසුම්බිය හමු උනාම තමා  ඒ බොහොම ලස්සන මූන මට හරියටම දකින්න පුළුවන් උනේ. ඇය මට ස්තුතී කරන ගමන් ඉල්ලීමක් කළා ඇයත් එක්ක අහල පහල තිබුණු චීන අවන්හලකින් රෑ කෑම එක වේලාසනින් ගන්න පැමිණෙන්න කියල. මම මේ අවන්හල දැකල තිබුනත් ජීවිතේට ගිහිං තිබුනෙ නං නැහැ ( නම chinatry dish අර්නස්ට් ඩි සිල්වා පාරෙ තියෙන්නෙ).

 ඔන්න ඉතිං මම මේ කාන්තාව එක්ක අවන්හලට ගොඩ උනා. සයිවර් කඩ ගානෙම ගෙවිච්ච ජිවිතෙන් එලියට ඇවිත් මේ වගේ අවන්හලකින් කෑම කන එකෙත් ඉතිං පොඩි අමුත්තක් තිබුන. ඔන්න ඉතිං බොහොම රසවත් බැදපු කුකුල් අඬු තොගයක් කන ගමන් ඇය මගෙත් එක්ක දොඩමලු වෙන්න උනා.

ඇය මට කිව්ව විදිහට, ඇය නෝවීජියානු සරණාගත කාන්තාවක්. උපත ලබල තියෙන්නෙ හංගේරියාවේදි. ඇය කෑම ගන්න අතරෙදි, ඇය බොහොම ප්‍රවේසමෙන් ආරක්ෂා කරපු පසුම්බිය කිසිම හේතුවක් නැතිව මට පෙන්වුවා. ඒක ඇතුලෙ තිබුනෙ එක එක වර්ග වල පැකට් කරපු ඇටවර්ග ලොකු ප්‍රමාණයක්. 

"මම විනෝදෙට කරන්නෙ ගස් හිටවන එක... මම රට රටවල් වල කැලෑ වලට ගිහිං එක කැලේකට ගස් දාහක් විතර හිටවල, ඒවාට තනියෙන් වැඩෙන්න පුළුවන් වෙනකන් ඉඳල ඒ රටෙන් පිටවෙනව.."

"මේ ඔයාලගෙ රටේ බොහොම වටින ගස් වල ඇට තොගයක්. මේ ඕකිඩ් එක හරිම දුර්ලබ ජාතියක්. මම ඒවගෙන් අමාරුවෙන් ඇට ගොඩක් හොයාගත්තා... මං ඒවා ලබන සතියෙ ඔයාලගෙ කැලෑවක පැල කරන්න ඉන්නෙ..."

ඇයගේ මුහුණේ තිබුනෙ ලස්සන හිනාවක්. මට මේ කතාව කියද්දී ලොකු පුදුමයක් එක්ක ම හිතාගන්න බැරි තරම් ගෟරවයක් ඇති උනා..."

"ඇයි ඔයා මෙහෙම කරන්නෙ.. කිසි ලාබයක් නැතිව..." අමාරුවෙන් වාක්‍යයක් දෙකක් මූට්ටු කරලා මම ඇහැව්ව..

"..මම ලාබ ලබන  කෙනෙක් නෙවේ. එදා වේල ජිවත් වෙන කෙනෙක්. මම රැකියාවෙන් නොබැඳි වෘත්තිකයෙක් (freelancer). සල්ලි හොයාගෙන රට රටවල් වලට ගිහිං මගෙ මේ හීනෙට පණ දෙන එක තමයි මම කරන්නෙ. මට කාත් එක්කවත් බැඳීම් නැහැ.."

"...කාලයක් මට තිබුනෙ විකාර ජිවිතයක්. මම ගතකලේ හිපි ජිවිතයක්... දකින දකින  පිරිමියත් එක්ක ලිංගිකව හැසිරුනා.. මත්ද්‍රව්‍ය අහුවෙන අහුවෙන එක ගත්ත... කාලයත් එක්ක මම පුරුදු උනා ක්රොකඩිල් කියන මත්ද්‍රව්‍යයට. ඒ පුරුදු උනේ මගෙ හිටපු රුසියන් ප්‍රේමවන්තයාගේ මාර්ගයෙන්... මේ ඒකෙ ප්‍රථිපල..." කියමින් ඇය මට, ඇය ඇඳ සිටි අත් දිග ශර්ටයේ අත කොට කර ගැඹුරට හෑරුණු තුවාලයක් පෙන්වුව (මම ඉන්ටර්නෙට් එකෙන් මේ මත්ද්‍රව්‍ය ගැන හොයල බැලුව ඒ කාලෙ, ලිංක් එකක් පහල ඇති කියවන්න ඕන අයට ..)

"මම දැන් ඒ ජීවිතෙන් මිදිල ඉන්නෙ.. මම ලාමා තුමාගේ දහමට ගොඩක් ලැදි බුද්ධාගමේ කෙනෙක් ඒත් මං ජේසුටත් ගොඩක් ආදරෙයි.. තව අල්ලාහ් ටත්..." 

අපි අවන්හලෙන් පිටවෙද්දී ටික දුරක් කිසි කතාවක් නැතුව යන්න ඇති. ටික දුරක් යද්දි ඇය අතට අත දීල මගෙන් සමුගත්ත.. දැනටත් ඇය මගේ බොහොම හිතවත්  ඉන්ස්ටග්‍රෑම් මිතුරියක්. නම සඳහන් කරන්න නං හැකියාවක් නැහැ. නමුත් මෙහෙම මිනිසුනුත් ඉන්න බවත් ඒ මිනිසුන්ගෙන් ගන්න ආදර්ශ ගොඩක් තිබෙන බවත් කියවන ඇය මතක තබාගන්න...

ඇය නිහඬ දෙව්දුවක්!


පලි:
අපි මහජන පුස්තකාල කැන්ටිමට පණු කැන්ටිම කිව්වේ හේතුවක් ඇතිව. කාලයක් යද්දි දන්න අයට මතක ඇතිනෙ සීලුත් තිබ්බ කැන්ටිමට...


 ක්රොකඩිල්  ගැන :

http://www.narconon.org/drug-information/krokodil.html




Wednesday, May 3, 2017

නාට්ටාමී 3 කොටස - මෝචරියේ ජෝගිය


"ආ මහත්තයො...!"
සිරිපාල තම බුලත් කහට රැඳුනු දත් දෙපල පෙන්වා සිනාසෙයි.
"අඩේ නඩේෂන් දීපං මේ මහත්තයට බංකුවක්.." සිරිපාල අසල එළවලු ලෑල්ලේ අයිතිකරු වූ නඩේෂන් ට පවසයි.

 කුඩා මිටි බංකුවක් පසෙකින් තබන නඩේෂන්, විදුරු කෝප්පයකට ප්ලේන්ටි ස්වල්පයක් දමා මාහට පිරිනමයි.

"ඉඳන් බොන්ඩ ෂර්,,,"
නඩේෂන් වූ කලී කාලවර්ණ සිරුරකට හිමිකම් කියූ මිටි මිනිසෙකි. තොග එළවලු ලෑල්ලක් කරන ඔහු අතීතයේ පටන්ම සිරිපාලගේ ගජ මිතුරෙකි. ඉක්මනින් කිපෙනසුළු කුකුල් කේන්ති කාරයෙක් වූ නඩේෂන් ආරෝවක් ඇතිකර නොගත්තේ සිරිපාල හා ඔහුගේ බිරිඳ කුමීඅම්මා සමඟ පමණකි.

. මැස්සන්ගෙන් පිරී තිබුණු එලෝලු මාකට්ටුව තුල එලෝලු වලින් නික්මුණු සුවඳක් හා කුණු වූ එලෝලු වලින් නික්මෙන සුවඳත් මිශ්‍ර වු සුවඳක් අවට විහිදුවයි. නඩේෂන් දුන් ප්ලේන්ටි වීදුරුවේ ගැට්ට මතට මැස්සන් රොත්තක් එක්වීමට ගතවුයේ නිමේෂයකි.

"උඹට මතකද නඩේෂන් ටවුමේ මෝචරියේ කලින් හිටපු එම්බාම් කරන එකා පියදාසව.?" ඒ පැනය පියදාසගෙනි.

"අම්මාහ් ඔව් ඔව් මතක නැද්ද යකෝ ඌව... අර විජේපාල ගෙ කෙල්ල පැනල ගියේ ඕකත් එක්කනෙ... දැන් ඔය ඔරුගොඩවත්ත පැත්තෙ ඉන්නවැයි කියන්නෙ.."

"අන්න හරි ඔය ඉන්නෙ මිනිහ... උඹට මතකද නඩේෂන් අනුව අවුරුද්දෙ මෝචරියේ  තිබ්බ ජෝගිය....?"

"අම්මද බෝල ශිරිපාලයියා.. අර ජෝගිය ... "

"ඒක නං මරු කතාව බං මේ මාත්තයට..  උඹ කියපං ශිරිපාල මං වැරද්දක් තිබ්බොත් හදන්නං..."

                                                                   ****

"මහත්තයො ඔය කතාව උනේ අනූවෙ අවුරුද්දෙ, අප්‍රේල් අවුරුදු කාලෙ, අවුරුදු කාල දවස් තුන හතරක්  යන්නැති..."
"ඔන්න ඉතිං සුපුරුදු විදියට මහත්තයො අපි අවුරුද්දට බීල හෙම වැඩ අල්ලන්න ලෑස්ති උනා. ඉතිං ඔය ඔහොම ඉඳිද්දී තමයි මහත්තයො අපිට අලුත් පාටියක් ගැන ආරංචියක් ආවේ.
මහත්තයො ඔය මේ ටවුමෙ මිනිස්සු මළාම උන්ට මලගමක් හරියට කරගන්න අතේ සතේ නෑ. ඉතිං ඔය හින්ද අපේ ගමේම විජේපාල කියල එකෙක් මල්සාලාවක් පටන් ගත්ත මාලිනි මල්සාලාව කියල. මාලිනි කියන්නෙ ඔය විජේපාලගේ දුව. ඉතිං මහත්තයො ඔය මාලිනි මල්සාලාව බජට් මල්සාලාවක්. පෙට්ටිය ලාබ එලේ අහුවෙච්ච බාල ලෑලි වලිං හදන්නෙ. මල් වඩම්, වාහනේ, තව එම්බාම් කරපු මිනිය පවා බජට් එකට සෙට් වෙන  බාල බඩුවක්. ඉතිං මොන දේ මොන විදියට තිබ්බත් එම්බාම් සාප්පුව අපේ ගමට ලොකු සේවයක් කලේ, මොකද හරිහමං දෙයක් නැති අපිට ගානට මළගෙදර වැඩ ටික හැඩල් කරගන්න පුළුවන් උනේ විජේපාලය හින්ද.

ඉතිං විජේපාලය ඔය සාප්පුවේ වැඩ බලාගෙන ඕඩර් වැඩ කරද්දි පියදාස තමා ඕකේ මිනී එම්බාම් කලේ. ඔන්න වැඩ තියෙන දවසට පියදාසය කාලක් හෙම ගහල ඔපරේසන් එකට බහිනව. ඒ අතරෙ විජේපාලය උගෙ දුවත් එක්ක මල් වඩම් ටික හදනව.

ඉතිං ඔන්න ඔහොම ඉඳිද්දී අපේ විජේපාලයගේ ඔලුවට අදහසක් ඇහිල්ල, අවුරුදු පහුවෙලා එම්බාම් සාප්පුවේ බජව්වක් දාන්න ඕනේ කියල. ඉතිං ඔන්න අපිටත් මහත්තයො විජේපාලය කතා කළා වරෙන් කියල.  ඉතිං මායි මේ නඩේසනුයි රෑ අට හමාරට විතර තව කොල්ලො හතර පස් දෙනෙක් එක්ක ගියා එම්බාම් සාප්පුවට.

ඔන්න ඉතිං සාස්තිරිය සිංදුවලින් එහෙම බජව්ව පටන් ගත්ත. විජේපාලය ළඟ බාගෙට හදල තිබ්බ මිනී පෙට්ටියකට තට්ටු කරකර සින්දු කියනව. පියදාසයත්  කෑන් කෑල්ලකට තට්ටු දානව. අපි ටික ඉතිං හති දමාගෙන නටනව...
ඔන්න ඉතිං පැය බාගෙයක් විතර ඔහොම නටල ඉවර උනාම   විජේපාලගේ දුව ආයෙමත්   බීම ටිකක් ලැස්ති කරල බැදපු ඌරු මස් කෑලි පිඟානක් එහෙම ලඟින් තියල යන්න ගියා. මාත් ඉතිං ලාවට වෙරි පිට ගත්ත වීදුරුවක් පුරෝලා අතට. ඔන්න අරං බොනව බොනව පෙවෙන්නේ නෑ. පියදාසයත් ඌරු මස් කෑල්ලක් අරං කන්න හදනව කැවෙන්නෑ. නිකං අතට අහු උනාට මොකුක් නෑ වගේ. ඔන්න එතකොට තමයි මගෙ ඔලුවට එක එක පාරටම විදිල්ලක් කොටනව වගේ දෙයක් ඔලුවට ආවේ.

"යකෝ විජේපාලයගේ කෙල්ල ඇඳලා හිටියෙ ළමා සාරියක්.! "

මහත්තයො ඔය වෙද්දී මටයි අනිත් හිටපු උන්ටයි මේ වෙච්චි දේට හීන් දාඩිය දාල තිබ්බෙ. අනික බාගෙට වෙරි.
මහත්තයො ඇඟට ආපු බයට මම නතර උනේ පහල පාරෙ කඩේ ගාවින් සරම පැටලිලා වැටිල. විජේපාලයයි පියදාසයයි නඩේසනුයි හොයාගන්නවත් නෑ. පහල කඩේ සයිමන්  මුදලාලි තමයි හනිකට ඇහිල්ල, බැන බැන මාව වත්තං කරන් කඩේට ගෙනිහින් ටොනික් බෝතලයක් කඩල බොන්න  දුන්නෙ.

ඉතිං මහත්තයො පහුවදා ගමේ කට්ටඩියට කියල සෙත් සාන්තියක් කරලා එහෙම තමයි මායි අනිත් උන් ටිකයි ගොඩ ආවේ. අපි තාම  දන්නෙ නෑ එදා මොකක් උනාද කියල.

එදායින් පස්සෙ මාසයක් විතර එම්බාම් සාප්පුව වහල තිබ්බ. පස්සෙ අවුරුදු තුන හතරකින් විජේපාලගේ කෙල්ල එම්බාම් කරපු පියදාසය එක්ක පැනල ගියා. විජේපාලයම පස්සෙ උන් දෙන්නට කැමැත්ත දීල ලඟට අරං ආයේ කාලයක් බිස්නස් කරගෙන ඉඳල මැරිල ගියා.
 දැන් ඔන්න උන් දෙන්න ළමයි බමයි ඉන්න මිනිස්සු. ඔරුගොඩවත්ත පැත්තෙ ජීවත් වෙනව෴



චිත්‍රෙ බලං ඩිජිටල් මාධ්‍යයෙන්  ඇඳපු එකක්