Tuesday, January 17, 2017

නාට්ටාමී 2 කොටස - දත් දොස්තර


“මහත්තයො මයේ හිතේ ඒ 75 අවුරුද්ද වෙන්නෝනෙ”
සිරිපාල කතාව අරඹයි.ඒත් සමඟම ඈතින් කොහේදෝ සිට පැමිණි පූසෙක් ඤාව් හඬක් නගමින් සිරිපාලගේ පයෙහි දැවටෙයි.

“මතකෙ හැටියට ඒ කාලෙ මං දාහතේ විතර ඉලන්දාරිය. ඔය කාලේ ඉතින් මට ඔය ගෙයක් දොරක් කියල එහෙම දෙයක් තිබ්බේ නෑ, පාරෙ වහලයක් යට තමයි ලැගල හිටියෙ. ඉතිං මහත්තයො මට ඔය ජිවිතේ එපා උනා. හරිහැටි රස්සාවක් නැති නිසා මං මෙන්න මේ ඉස්ටේසමේ ගුවන් පාලම ළඟ සපත්තු මහන රස්සාවක් පටන් ගත්ත.”  කතාව නවත්වන  සිරිපාල නෙස්කැෆේ උගුරක් තොලගායි.
“මහත්තයො ඔය කාලේ තමා යාපනේ ලොකු මහත්තය දොරේඅප්ප මහත්තයව කොටි මරල දැම්මෙ. මට අද වගේ මතකයි. ඒ උනාට ඉතිං  ඒ දවස් වල ඔය දැන් වගේ කොටි ගැන නිච්චියක් මිනිස්සුන්ට තිබ්බේ නෑ, අනික උං කරලියට ආවෙත් ඔය පස්සේ කාලෙක නෙ, ඊට අවුරුද්දකට විතර පස්සෙ මයෙ හිතේ...” සිරිපාල ඔහු සමීපයේ ගැවසෙන පූසා රැගෙන ඌ හට ඉතුරුවූ නෙස්කැෆේ ස්වල්පයක් පෙවීමට උත්සාහ කරයි.

“මුන්ට මහත්තයො ජරාව කාල කාලම දැන් ඔය අපි දෙන ඕනෙ ජරාවක් දිරවනව. මහත්තයො මං දැනන් හිටිය ඔය අහක දාන පළතුරු කන තඩි බළල් තඩියෙක් ව….ඈ  නෑ.. නෑ මහත්තයො අම්මප ඇත්ත කියන්නෙ.ඒකාලෙ ඔය ඌ එලොලු මාකට් එක පැත්තේ හිටියෙ.... හරි හරි ඕව වැඩක් නෑ… අපේ කතාවනේ මහත්තයො වැදගත්…” කියමින්  සිරිපාල තම කමිසයේ උඩ සාක්කුවට අත දමා බීඩි මිටියෙන් බීඩියක් රැගෙන දල්වාගනී.

“ දැන් මහත්තයො ඔය දවස් වල ඉතිං මගේ ජිවිතේ නිකං අපායක් වගේ කියල කියතෑකි. මොකෝ දවල්ට ගිණි ගහන රස්නෙ අස්සෙ මං පේමන්ට් එකේ ඉහලගත්තු කුඩයක් යට ඉඳන් සපත්තු මහනව. ඉතිං අම්මේ ඔහොම නැති දුකක් විඳගෙන දවස අන්තිමේ හැමදාම සොච්චන් ගානක් හොයාගෙන කොහේ හරි හෙවනක දිගෑදිල බුදිය ගන්නව. රෑට හැමදාම කෑවෙ පොඩි පාන් කෑල්ලක්. සමහර දවස් වලට මහත්තයො ඔය ටවුමේ බේකරියෙන්, ඒකෙ අයිති මහත්තය, මට ඔය දවසක් විතර පරණ ඉතුරු වෙච්ච පාන් ගෙඩියක් නොමිලේම දෙනව… එදාට ඉතිං රජ මඟුල්. අර්ෆත් ගෙ හෝටලේට ගිහින් ඉතිං ගන්නව උණු උණුවෙ  කිරිහොදි පැකට් එකක්. අරං ඉවර වෙලා ඔය පරණ කාලෙ බෝතලේකට දාගන්නව ප්ලේන්ටියකුත්. දාගෙන යනව මූද පේන මානෙට. ගිහිං ඉතිං කනව මදි නොකියන්න. කාල ප්ලේන්ටියත් බීල ඉතිං බීඩියකුත් කටේ ගහන් හේත්තු වෙලා ඔහේ බලාගත්තු අත බලං ඉන්දැද්දි දන්නෙම නැතුව නින්ද ගිහිං.” සිරිපාල දිග සුසුමක් හෙලා බලා සිටි අත ඔහේ බලා සිටින්නට විය.

“ඉතිං මහත්තයෝ ඔය කාලේ මට හරි ඇබැද්දියක් උනානෙ. මගෙ ඉතිං ඔය සවුක්කෙ ඒ දවස් වල අන්තිමයි නෙ. ඔන්න ඉතින් දවසක් උදේ නැගිටලා බලද්දි මයෙ හක්ක දරාගන්න බැරි ගාන්නට වේදනා දෙනව. අම්මේ තාම මතකයි... ඔය දැන් වගේ මහත්තයො ඒ දවස් වල පැනඩෝල් කාඩ් ගන්න හැකියාවක් තිබ්බේ නෑ.අනික තිබ්බේ ඔය ඩිස්පිරින් හරි මොකක් හරි නමක් තියෙන බේතක්. ඉතිං මහත්තයො හිතේ හයියට අමාරුවෙන් දවස් දෙක තුනක් ඇදගෙන ගියා, අද හොඳවෙයි හෙට හොඳවෙයි කියල හිතං. මොන.. හොඳද. රෑට නින්ද යන්නෙත් නෑ. අනික දවල්ට පෝරණුවෙ දාල වගේ තැම්බි තැම්බි දතේ අමාරුවත් එක්ක සපත්තු මහනව.” සිරිපාලගේ මුවගට නොදැනුවත්වම මද සිනහවක් නැගෙයි. කහට ගැසුණු තම  දත් දෙපල පෙන්වා ඔහු හයියෙන් සිනාසෙයි..

“මහත්තයෝ මට හිනා ඒකාලේ කරපුව මතක් වෙද්දී” සිරිපාලගේ අව්‍යාජ සිනහව නැවතත් රැව්පිළිරැව් දෙයි.
“ඉතිං ඔන්න මහත්තයො මට දැන් කොරකියාගන්න දෙයක් නෑ.  අපිට මහත්තයො මොන ඩිස්පැන්සරිද ඒ කාලේ. අනික රජේ ඉස්පිරිතාලේ ගිහාමත් ඉතිං දවසම වියදං කරන්න බලං යන්නෙපැයි.ඉතිං මං මොකද කලේ, ගියා පේලි ගෙදර දොස්තර ව හම්බෙන්න….”

“ මහත්තයො අපි  පේලි ගෙදර දොස්තර කිව්වේ හැබෑ වෙදෙක්ට නං නෙවේ. මිනිහ ඉස්සර ඔය ඉංගිරිසි බේත් විකුණන කඩේක කඩේ බලාගන්න හිටපු කොලුව. නම ස්වාමිනාදන් .ඔය කොළඹ කොටුවෙ අපි වගේ මිනිස්සු තමන්ගේ දුක කියල ලෙඩ හොඳ කරගන්න ආවේ ස්වාමිනාදන් ගාවට. ඔය  පණු අමාරුවට බේත් කිරිල්ලෙ ඉඳන්  ගබ්සාව වෙනකන් සේරම කලේ ඔය මනුස්සය...”

ඈත ඔරලෝසුවක රාත්‍රී දහයේ කණිසම නාද වෙයි.සිරිපාලගේ ඇඟේ දැවටුණු බලා අපගේ කතාව අතරතුර කොහේ හෝ ගොසින්ය. ඈතින් විදේශික යුවලක් අප නොදන්නා බසක් කතාකරමින් වේදිකාව දිගේ අත් පටලවාගෙන ඉදිරියට පැමිණෙයි.

“මහත්තයො ඔන්න මම ගියා සුවාමිනාදන් හම්බෙන්න. ඉතින් ඕං මිනිහ අර කෑලි හයේ ටෝච් එකකින් මයේ හක්ක පරීස්සා කරනව. ඉතින් ඔන්න විනාඩි පහක් දහයක් බොහෝම සීරුවට බැලුව මුළු සර්වාන්ගෙම තිබ්බ දත් ටික. බලල කියපි. ඒ ශිරිපාලයියා, හක්කේ දත ගලාන්න වෙලා කියල. ඉතිං මහත්තයො මං මිනිහගෙන් ඇහුව කොහොමද කොයි වෙලාවෙද දත ගලෝගන්න එන්න ඕනේ කියල. ඉතින් ඒ පාර මිනිහත් කිව්ව ශිරිපාලයිය පාට විතර එන්න කියල.”
“ඉතින් මහත්තයො ඕං මාත් ඉතිං වෙලාවටම සුවාමිනාදන් හම්බෙන්න ගියා. ගිහින් ඉතින් ඔන්න මිනිහගේ ගෙදර ඉස්තෝප්පුවේ වාඩිත් උනා. ඔන්න ශිරිපාලයිය කෂායක් තියෙනවා මුලින් බීල ඉමු.. කියල ස්වාමිනාදන් මට දුන්න අරක්කු බාගෙ බෝතලේකට මොනාද පුරෝල…”

“ඔන්න මාත් ඉතිං බොනව… බීගෙන යද්දි මේං එනව පුරුදු රහක්.”
“යකෝ මේ කසිප්පු නෙ!.... මට කියවුනා”
“මේං මූ හිනාවෙවී කියනව, ශිරිපාලයිය ඕක එක  උගුරට ගහල දාන්න නැත්නං ඉතිං දත ගලවන්න වෙන්නෑ කියල… ඉතිං මහත්තයො මටත් දැන් හොඳ ගනං. ඒ පාර ඉතින් ඕනේ එකක් වෙච්චාවේ කියල නහය වහං උගුරු තුන හතරට ගැහුව බෝතලේම.ඔන්න ඉතිං  පැය බාගෙයක් විතර යද්දී  මොනා උනාද දන්නෙ නෑ මහත්තයො…” කතාව නැවැත්වූ සිරිපාල නොනවත්වා සිනහ වෙයි.

“....ඔන්න මහත්තයො නින්දෙන් වගේ දැයෙනව මොකෙද්ද එකෙක් මට පයින් අනිනව.. ඕයි යකෝ සිරිපාල නැගිටපන් කියලත් කියනව… ඔන්න මහත්තයෝ මං ඇස් ඇරිය. මෙන්න යකෝ සුවාමිනාදනුයි තව ඒ ළඟපාත කොල්ලො වගේකුයි ඉන්නවා මං දිහා බලං හිනාවෙවී…”

“පහුවදා උදෙත් වෙලා...ඔන්න මහත්තයො මං මොකුත් නොකිය නැගිට්ට... එතකොටම යකෝ මෙන්න මට මේ ටිකේම නැති සහනයක් දැනෙනව. මගේ දතේ අමාරුව හොඳ වෙලා... මහත්තයො ස්වාමිනාදන් මගේ දත ගලෝල !…”
“මට දැන් මේක මාර ප්‍රශ්නෙ මහත්තයො…”

“ ඈ බං... මට මොකෝ උනේ කියහං සුවාමිනාදන්?... මං ඇහුව…”

“ මේං මූ මට තඩි වයර් කපන කටර් අඬුවකුයි ඒ'කේ රැඳිල තියෙන දතකුයි පෙන්නල හිනාවෙවී කියනව…

“ශිරිපාලයිය, උඹ වෙරි පිට මාකට්ටෙක වටෙත් දුවල, මටත් ගාල තමා මේ දත දුන්නෙ! කියල...”


ච්ත්‍රය චායාරුපයක් බලං ඇඳපු එකක්. මුල්  අයිතීන් සම්පුර්ණයෙම්ම චායාරූප ශිල්පියා සතුයි.

0 comments:

Post a Comment